ඇඳුම - වැදගත්කම, තත්වය සහ මහන්තත්වය



වැඩපළේ මැෂින් එකක්  කැඩිලා ඒක රෙපයාර් කරකර ඉන්නගමන් මජං පිටින්ම ටවුමට යන්න උනා ඒ වැඩේට අමතර කොටසක් මිලයට ගන්න. බඩු ටිකත් අරගෙන බේකරි කඩේට මොනවහරි බඩට දාගන්න යන අතරමග පාර අයිනේ හිඟන්නෙක් හිඟමන් යදිනවා. වෙනදා ටවුමට ආවාම පුරුද්දක් විදියට හිඟමන් ඉල්ලන මේ වගේ මිනිස්සුන්ට රුපියල් දහයක් ,විස්සක් දෙන මගේ අත නිරායාසයෙන්ම සාක්කුවට රිංගුවේ මාරු සල්ලි තියනවද බලන්න වෙන්නැති. මට ඉස්සරහින් හොඳට ඇඳපැළඳගෙන හිඟන්න ගාවින් ගිය මනුස්සය දිහාවට  "අනේ මහත්තයෝ,අසරණයට පිනට යමක් " කියල දික්කරපු අතට කීයක්හරි වැටෙනවනං මං දැක්කෙ නෑ.. සාකුව ඇතුළෙම   රුපියල් දහයෙ කොලයක් අතේ උණ්ඩි කරගෙන හිඟන්න ගාවින් යනගමන් ඒක දෙන්නයි කියල පොර දිහා  බැලුවම, මෙන්න බුවා මං දිහා බලලා අහක බලාගත්තා.අතේ පයේ මජං , කසිකබල් කොට කලිසමකුයි මජන් ගෑවුණු ටී ෂර්ට් කෑල්ලකුයි ඇඳගෙන  ගල් කුඩු  වලින් වැහුණු රබර් සෙරෙප්පු කටු දෙකකුත් දාගෙන ඒ මදිවට බුලත් විටකුත් හප හප හිටපු මාව ඒ මනුස්සයට පේන්න ඇත්තේ ඌටත් වඩා නට්ටන් වෙච්ච හිඟන්නෙක් විදියට.  දෙනවද නොදෙනවද කියල හිතල , එක්කෝ දැන් මේක දුන්නොත් ඒක පොරගේ තත්වෙට මදිකමක් වෙයිද දන්නේ නැති නිසා පාරිශුද්ධ පුණ්‍ය චේතනාව අකුලගෙන සාක්කුව ඇතුලෙම දහයේ නෝට්ටුව අතෑරලා බේකරි කඩේට ගොඩවැදුන.



කෙටි කෑමක් කාලා බීම එකක් බොන්න හිතාගෙන මේසෙකින් වාඩිවුණු මං ගාවට වේටර් අයියෙක් ඕනෑවට එපාවට කිට්ටු උනා . "මල්ලි මොනවද?" . මුගේ අම්මට.. වෙනද මං මහත්තය. වෙනදට වතුර වීදුරුව පට ගාල මේසෙට වඩින්නේ. අද? "  ෂෝටීට්ස් ගේන්න" ඔන්න එතකොට කොහේදෝ ඉඳන් මගේ ටිප් එකට හුරු වෙච්ච මාව දන්න වේටර් අයියෙක් එතනට පාත් උනා. " මහත්තය, මොකෝ අද මේ? වැඩක් වත් කරකර ඉන්නගමන්ද?" " ආ ඔව් අයියේ, පොඩි කෑල්ලක් ගන්න ආව" . ළඟ මේසේ හිටපු කට්ටිය මගේ මූණ දිහා බලන් ඉද්දීම අඳුනන වේටර් අයියා බනිස් ට්‍රේ එක ගෙනත් දුන්න මේසෙට. බනිස් ගෙඩි දෙකකුත් ගිලලා අලියා බීම බෝතලේකටත් වගකියල, එතනින් පිටත් උනේ වෙනදට වඩා කීයක්හරි ගානකුත් වේටර් අයියට දීල. හිඟන්නටත් බාල්දුවෙලා හිටපු මගෙ තත්වෙ උස්සල තියල ,වේටර් අයියා කෙරුවේ සුළුපටු වැඩක්යැ. 

ජංගි හොරුන්, බූලන් සමඟ හිල්මන්ලා



2005 අවුරුද්දේ එක දවසක උදේ 7ට විතර  මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ න්‍යායික දේශනශාලාවේ ඉහල මහලේ ඉඳන් පාර දිහා බලන් ඉන්නකොට දැක්ක සිද්ධියකින් මාතෘකාවට පිවිසෙන්නම්. කැලණිතිස්ස බලාගාරේ ගාව බේස්ලයින් පාර පටන්ගන්න හන්දියේ මිනිස්සු ගෑනු කඩිසර ගමනින් පාර පනිනවා, පදික වේදිකාවේ කලබලයෙන් ඇවිදගෙන යනවා, පෙට්ටි කරත්ත තල්ලුකරන් යන මිනිස්සු, පොඩි පොඩි වෙළඳාම් වල යන මිනිස්සු, හිඟන්නො  නානාවිවිධ උදවියගෙන් පේමන්ට් එක පිරිලා..පේමන්ට් එකෙන් මෙපිට අපේ බිල්ඩිම පැත්තටවෙන්න පොඩි පඳුරු, ගස් වලින් පිරුණු පහත් බිම්කඩක එක මනුස්සයෙක් ගහකට මුවා වෙලා පේමන්ට් එක දිහා බලන් ඉන්නවා. 

මූ හොරෙක්ද, එහෙමත් නැත්තන් වෙන මොනවහරි කරන්න හදන එකෙක්ද කියලා විමසිල්ලෙන් බලන්නත් එක්ක මෑන්ව හොඳට පේන තැනකට ඇවිත් මමත් බලාගෙන හිටියා වෙන සිද්ධිය. අවපාට වෙච්ච සරමකුයි කමිසයකුයි ඇඳගෙන හිටිය ඒ මනුස්සයාගේ පරණ බයිසිකල් කටුවත් ඒ අසලම පෙරළිලා තිබුනා. ටික වෙලාවක් යනකොට පේමන්ට් එක දිගේ එතනින් කාන්තාවක් ඇවිදගෙන ගියා.. එත් එක්කම ඒ අකුළෙන් මෑත් වෙච්චි මෑන් ඒ දිහා බලාගෙන සරම අස්සෙන් අතදාගෙන වෙනමම වැඩසටහනක් පටන්ගත්තා. අපේ සෙට් එකටත් වැඩේ දැනුම්දීලා කට්ටියම බලාගෙන ඉද්දිම ඒ වැඩේ දිගටම කෙරුණා. පාරේ එතනින් ගෑණියෙක් යනකොටම මූ ඒ ගෑනිට පෙන්නගෙනම ඒ වැඩේ කරලා අයෙත් පහලට ඇවිත් අකුළ අස්සෙ හැංගෙනවා. දෙතුන්පාරක් බලාගෙන ඉඳලා බැරිමතැන අපි හූ කියලා මූව පන්නගත්තා.



ඒ කියපු විදියේ "show man" ලාට හේතුව මොකක්ද කියල නොදන්නවා උණත් ගමේ ගොඩේ කියන්නේ "බූලෝ" කියල. ගම්බද පාරවල් වල බොහෝ වෙලාවට මෝටසයිකලෙන් යනගමන් පාරේ තනියම යන ගෑණු පරාණයක් දැක්කම අහලපහල කව්රුත් නැත්තන් කලිසම ගලවල තමුන්ගේ "මහා පුරුෂ ලක්ෂණේ " ඒ ගෑණිට පෙන්නුම් කරන බූලෝ ගැන ඉඳහිට හරි මටනම් අහන්න හම්බවෙනවා. එහෙම එවුං පන්නල අල්ලාගෙන හොඳටම නෙළපු අවස්ථාවලුත් තියනවා. මට හිතෙන විදියට තමුන්ගේ ලිංගික අවශ්‍යතා සපුරාගන්න නොලැබෙන නිසාවට ඇතිවෙන අසහනය හේතුවෙන්  "බූල්" කමට මිනිස්සු ඇබ්බැහි වෙනවා වෙන්න ඇති. සමහර විට මේ දේ මානසික ව්‍යාධියක් වෙන්නත් පුළුවන්. දොස්තර කෙනෙක් නොවුනත්  ඇහෙන දැකපු , සහභාගී වෙච්ච සිද්ධියක් නිසා එහෙම ලෙඩක් ඇතියි කියල මට හිතෙනවා.

ස්කූටි ළඳුන් සහ පවුල්සංස්ථාව



මට හොඳට මතකයි මං දන්නා එකෙක් එකපාරක් ඕ ලෙවල් පන්ති යනකාලේ යාළුවෙලා හිටපු කෙල්ල අතෑරලා දැම්ම ඌ එපා කියද්දී බයිසිකලෙන් පන්ති ආව කියල. මෝඩ වැඩක් උනත් සමාජය විවිධාකාරයිනේ.


අපි කුඩා කාලයේදී ගැහැණු පිරිමි භේදයක් නැතුව බයිසිකල් පදින්න පුරුදුවෙනවා,  බයිසිකල් පදිනවා... ඉස්සර කෙල්ලන්ට වැඩිවිය පැමිණුනාම ඊටපස්සේ අම්මල තාත්තල බයිසිකල් පදින්න දෙන්නේ නෑ.. විද්‍යාත්මකව අමූලික බොරුවක් කියල ඔප්පු උනත් කන්‍යාපටලය ඕකට එක හේතුවක් වෙලා තිබුනා.දැන් නම් එහෙම විශ්වාස සමාජයෙන් ඈත් වෙනවා එන්න එන්නම. ඉස්සර සමහර වෙලාවට ගැහැණු ළමයි බයිසිකල් පදින එක සන්වරකමට ලාලිත්‍යයට හානියක් වෙනවා වගේ පොඩි මතයකුත් තිබ්බ නිසා එකෙනුත් කෙල්ලොන්ගේ බයිසිකල් පැදිල්ල අඩු උනා.  දැන් උනත් ගෑනුන්ගෙන් බොහොම සුළුතරයක් තමයි සමස්ථයක් එක්ක ගත්තම බයිසිකල් පදින්නේ . මෝටසයිකල් නම් දැන් සැලකියයුතු පිරිසක් පැද්දත් එකත් අඩුයි ඔක්කොම ගැහැනු එක්ක බැලුවොත් . කොහොම නමුත් කෙල්ලෝ ගෑණු උනාට පස්සෙත් පුෂ් බයිසිකල් පදිනවානම් එතන අපට ගොඩක් දුරට පේන කරුණක් තමයි ඒ කාන්තාවෝ සාපේක්ෂව අඩු ආදායම් මට්ටමක ඉන්නේ. අනිත් එක තමයි බොහෝදුරට එහෙම කරන්නේ බොහොම ක්‍රියාශීලී , ඕන දේකට පස්සට නොයන උදවිය. කෙටියෙන් කිව්වොත් Dare Devils ලා.


 ග්‍රාමීය  සමාජෙ ඉන්නකොට අහන්න දකින්න ලැබෙන දේවල් වලින් කිව්වොත් පවුල් උනාට පස්සෙත් බයිසිකල් පදින ගෑණු ගොඩක් දුරට පිට උන්ටත්  පදින්න හම්බවෙන ප්‍රවණතාව වැඩියි. වැටිලා තුවාල උනාට බයනැති, ලාමක කම  ගැන එච්චර තැකීමක් නොකරන , ක්‍රියාශීලී බව වැඩි කාන්තාවන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වයත් වැඩි ඇති මට හිතෙන විදියට. දුප්පත් කම හෝ අසරණ කම ඕකට උත්ප්‍රේරකයකුත් වෙනවා ඇති. මෙහෙම කිව්වා කියල හිතන්නෙපා මං මේ කියන්නේ ඔක්කොම උදවිය එහෙමයි කියල. එහෙම නොවෙන රත්තරන් ගෑණු අනන්තවත් ඉන්නවා. හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අරෙහෙම අය වැඩියි.

ගුණේ මාමා..



සමාජ විජ්ජුම්බර පොර ටෝක් වලින් මිදිලා කතන්දර මාලාවක් පටන්ගන්නත් හිතුවා..මම ජීවත්වන ග්‍රාමීය සමාජයේ ඉන්න විවිධාකාර චරිත ගැන එකින් එක විටින් විට කොටන්නයි කල්පනා කලේ.. ගුණේ මාමා කියල නම දැම්මට එක ඇත්ත නම නෙවෙයි. (කව්රුහරි මේක කියවලා ඔය යකාට කිව්වොත් නෑදෑකමුත්  නැතිවෙනවා. ඇත්තම නම ඕනේනම් ප්‍රයිවට් එකේ අහපල්ලා...) හැබැයි දිවුරලා කියන්නං , මේ කියන ඔක්කොම කතා සම්පූර්ණ ඇත්ත.ගුණේ මාමා අපේ නෑදෑයෙක් වෙනවා... ඉස්සර වැඩකලේ ඛනිජ තෙල් සංස්ථාවේ . සල්ලිත් යහමින් තිබුණ ඒ කාලේ. දැනුත් නැත්තෙම නෑ. බැඳලා ඉන්නේ ටීච කෙනෙක්. එක දුවෙක් ඉන්නවා. දැන් ඒ කෙලී විස්සවිද්යාලේ. 

ගුණේ මාම හිත හොඳ මනුස්සයා. කාටවුනත් උදව්වක් උපකාරයක් කරන්න වැනෙන්නේ නෑ. වැනෙන්නේ බිව්වම විතරයි. මගෙ බ්ලොග් කෙරුවාවෙත් කැරකිලා කැරකිලා අන්තිමට මැක්කගෙ කතාව වගේ කතාව ඉවරවෙන්නේ බේබදුකමෙන්. ඒ කිව්වා වගේම ඔන්න ගුණේ මාමා හෙනම බේබද්දා.. අරක්කු බෝතලයක් පෙන්නුවොත් හබකක් යටිං උනත් රිංගයි. උදේ පයින්ම බස්  පාරට යන ගුණේ මාමා බස් එකේ ගිහිං තමයි වැඩට යන්නේ. වැඩ ඇරිලා එනකොට තමයි සෙල්ලම තියෙන්නේ.


අද බොමුද..??



"ඔයත් ගන්නවද?"  මගුල් ගෙදරකට ගියාම අරක්කු බෙදන පුද්ගලයා ලඟට ඇවිත් හෙමින් අහන්නේ ඒ විදියට. අහල තියනවද "ඔයත් බොනවද" කියල අහනවා?? එහෙම අහන්නේ නොරුස්නාකමකුත් එක්ක. එහෙනම් "ගම්මු", "ගන්න ගන්න", "ඔය මදිනේ අප්පා, තව ටිකක් දාගන්න". එහෙම බැලුවම අරක්කු බොන්නේ නෑ ," ගන්නවා"."




මත්පැන් සම්බන්ධයෙන් වෙනමම භාෂාවක්ද ඇතුළුව අලුත් සංස්කෘතියක් ගොඩනැගිල තියනවා.අරක්කු කව්රුත් බොන්නේ නෑ.. අරක්කු "බොනවා", කියල කියන්නේ බොහෝදුරට එකට විරුද්ධ වෙන ගෑනු සහ නොබොන එවුනුයි බිව්වත් බොන්නේ නෑ කියල පෙන්නගෙන ඉන්න එවුනුයි.


සෙට් වෙමුද?" ඒ කියන්නේ බොමු කියන එක. "දෙකක් දාගත්තම ඕක හරියයි". අප්පටසිරි "දාගන්නවා" කියන්නෙත් බොනවා කියන එකට එතකොට."ඊයේ නං  දෙකක ඇනගත්තා". ඇනගන්නවා කියන්නෙත් බොනවට."මචන් උඹ ගසනවද?" "ගසමු ගසමු" . ගසනවා කියන්නෙත් එකටයි එතකොට.සමහරු  ඇඩ්මිට් වෙනවා, ඔන්ද ස්පොට් වෙනවා, ආ ඒ බීල වැඩි උනාම. බිව්වම වමනේ දාන්නේ නෑ , දාන්නේ "කබරයා".

බොනවද  කියල ඇහුවම දෙන උත්තරෙත් අහන පුද්ගලයා මත වෙනස් වෙනවා. යාලුවෙක් ෆිට් එකක්, සෙට් වෙන එකෙක් ඇහුවොත්, "කෝ දැන් තියනවද එහෙනම් සෙට් වෙමු" කියනවා වගේම ටිකක් ආගන්තුකයෙක් ඇහුවොත් "නෑ ඉතින් ඔය පාටියකට වෙඩින් එකකට ගියාම නම් ඉතින් දන්නැද්ද පොඩ්ඩක් ගන්නවා" කියලයි කියන්නේ.

විස කසිප්පු, හැලි අරක්කු, සීල් අරක්කු, සහ කුලීකාරයාගේ ආර්ථිකය සමඟ දැන දැනම ඊස්රායල් යෑම …..



කසිප්පු - " අපෝ ජරාව... ගඳේ බෑ... ඔළුව රිදෙනවා පහුවදාට...කසියා බොන්නේ කවුද... පෝයට සීල්  බඩු  හොයාගන්න බැරිවුණු නිසා ඔන්න ඔහෙ ගහලදැම්ම .."




ලංකාවේ ඉතිහාසයේ සෑහෙන දුරකට විහිදෙන කසිප්පු සංස්කෘතිය, එය  දුප්පතාගේ ජාතික පානය බව සැවොම දන්නා කරුණකි..

වතුරපාරක් අයිනේ පඳුරුගාලක යකඩ බැරලයකට සීනි හෝ හකුරු දමා යීස්ට් දමා දින කිහිපයක් පැසීමට ලක්කොට එම බැරලයම ගිනිදමා රත් කොට ලෝහ බට දඟරයක ආධාරයෙන් භාගික ආසවනයට ලක්කොට (වතුරපාරක් අයිනේ වැඩේ සෙට් කරන්නේ දඟරේ ඒ වතුරපාරට දාලා වැඩේ කරගන්න  ලේසි වෙන නිසා) "ඉස්ප්‍රීට්" ටික වෙන්කරගැනීමට පෙරන බුවාට මහලොකු කාලයක් ගත නොවේ...

ඇඟිල්ලේ පත්තුවෙන පදමට බඩු ටික සෙට් කරගත්තොත්  එකට දෙකක් වතුර දාලා සුපිරි බඩු  ටිකක් හදාගන්නට පුළුවන.... ඒ දවස් වල පෙරීම සහ විකිණීම දෙකම කරනු ලැබුවේ එකම "කසිප්පුකාරයා" විසිනි. " මෑ කරලා"ගෙ බඩු සවුත්තුයි, "සාන්තයගේ" තනිකර ඇල්වතුර,"සෝමයගේ" බඩු නම් විස්කි වගේ....ඒ අනුව බැලුකල එකළ කසිප්පුකාරයාට "චොයිස්" කීපයක් තිබුණි...

ජයවේවා කියල පටන්ගන්නම්..


ඉස්සරකාලෙ ශිෂ්‍යත්ව පංතියෙන් රචනා ලියන්න ඉගෙනගත්තට පස්සේ එක එක හීන පස්සේ දුවන්න වෙනු නිසා ලිවිල්ල එහෙමම නැවතුණා. දුවලා දුවලා මට්ටු වෙලා අන්තිමට ඉගෙනගත්ත දේවල් පැත්තක තියෙද්දී හීනෙන් වත් නොහිතපු දෙයක් ජීවත් වීම වෙනුවෙන් කරන්න වුණේ අන්තිමට.
ඒ අතරේදී බුකියේ හිතට එන දේවල් කොට කොටා ඉන්න කොට, ඒවා කියවන්න අදහස් දක්වන්න කට්ටිය රොක් වෙනවා දැකලා හීනි සතුටක් ලැබුවා. එකේ ඉන්න උන්ගෙන් ආපු පොඩි තල්ලුවටයි ඉස්කෝලේ කාලේ එකට හිටිය එකෙක්ගේ මගපෙන්වීමටයි පින්සිද්දවෙන්න ඔන්න මමත් දැන් බ්ලොග් කාරයෙක්ලු!!!

එදිනෙදා ජීවිතයේදී හම්බවෙන මිනිස්සු, සමාජයේ විවිධ පැතිකඩවල්, මුහුණදීපු අමුතු අත්දැකීම් ගැන අමුතු විදියට බලලා ඒ ගැන කොටන්න පොඩි උත්සාහයක යෙදෙන්නයි බලාපොරොත්තුව.
සාර්ථකත්වය කෙසේ වෙතත් කරලම බලමුකෝ.මහලොකුවට ලියන්න දන්නා එකෙක් වත් , හෙන පොරක් වත් නෙවෙයි මං. හිතට එන නිදහස් අදහස් ඔහේ ලියල දානවා. ගැළපීම් සහ ව්‍යාකරණ වල දහසක් අඩුපාඩු තියෙයි. අඩුගානේ කව්රුහරි කියවල බලලා බණින්නේ වත් නැතෑ....