පැම්ප(ර්)ස්, "සිප් එකට අහුවීම" ,"ප්‍රීති කසානා" එක්ක "නූල් ත්‍රිකෝණ"




දේශකයා මට කිංඩියක් දාලා තිබ්බ quote කරලා "බෝල තම්බනවා" කියල. මං එතන කිව්වෙ ටෙනිස් බෝල පදම් කරන්න තම්බපු එක ගැන උනාට දේශකයගේ "කැත හිත" අලුත් කතාවක් ලියන්න වස්තු බීජයක් හොයල දුන්න. කොහෙන්ද මේක පටන්ගන්නේ??... 

 
බේබි පැම්ප(ර්)ස් කියන්නේ අද කාලේ පොඩි බබාලා ඉන්න කට්ටියට නැතුවම බැරි දෙයක්. ගමනක් බිමනක් යනකොට පොඩි එකා, උගේ ඇඳුමේ වගේම වඩාගෙන ඉන්න අයගේ ඇඟේ චූ දානවට තියන විසඳුම තමයි මෙව්වා. හැබැයි අද තියන කාර්යබහුලකම නිසා ගෙදර නිදහසේ ඉන්න පොඩි එවුන්ටත් දවස පුරාම පැම්පස් අන්දලා තියනවා මම දැකල තියනවා. ඇඩ් වල නං පෙන්නනවා "ඔක්කොම ජාති උරාගන්නවා, උරාගත්තට පස්සේ ඇඟේ වත් ගෑවෙන්නේ නෑ, මේකට අන්තර්ගත වෙලා තියන විටමින් වලින්,කෝමාරිකා සාරයෙන් බබාගෙ චූ පැත්ත  පෝෂණය කොරනවා, දාර ඔක්කොම සිනිඳු කොරල තියන නිසා බබාට අපහසුවක් නෑ " වගේ නානාප්‍රකාර කතන්දර. මම නං ඕව පිළිගන්නේ නෑ. ඕව ඇන්දුවම හරි අපහසුයි පොඩි එකාට. පොඩි එකා චූ දැම්මම, කක්කි දැම්මම ඒව අරකට උරාගත්තත් ආපහු ඇඟේ ගෑවෙනවා. රත් වෙලා වැඩිවෙලා පොඩි එකාම තැම්බෙනවා. බෝල තැම්බිල්ල  මුලින්ම ආරම්භ වෙන්නෙ අන්න ඒ විදියට.ගමනක් බිමනක් යනකොට ඕව අන්දන් ගියාට කමක් නෑ. හැබැයි පොඩි එවුන්ගෙ "චූ පැත්තේ" නිදහස අහිමිකරනවට , හුලන් වදින එක කප්පාදු කරනවට මම නම් විරුද්ධයි.

"හරි ක්‍රිකට්" සහ "සෙල්ලං කිරිකට්"


මේ ක්‍රිකට් වාරයයි. 2005-2006 කාලයේ තරම් නැතත් මේ දවස් වල ක්‍රිකට් උණ අපේ කට්ටියට බෝවීගෙන එනවා පේනවා. අපේ කොල්ලො ගැරඬි මරාගන්නෙත් බොහොම අමාරුවෙන් කියල දැනට නං පෙන්නේ. ඒ හින්ද ලෝලීන්ගෙ "කික්" එක ටිකක් බැහැල වගේ දැන්. මට නං ඇත්තටම් මෙව්වා ගැන කතාකොරන්ඩ කිසිම  අයිතියකුත් නෑ වැඩියෙ ඔව්ව ගැන තේරෙන්නෙත් නෑ. ලෙදර් බෝලයක් අල්ලල වත් තිබ්බ නං අපිටත් ඉතිං ලෝක පූජිත ක්‍රිකටර්ල වීම කෙසේ වෙතත් ඉන්සුවරන්ස් කොම්පැනියක පිනා ජොබ් කටුවක් වත් කොරගෙන ඉන්න තිබ්බ.
 

පෙරේතයො, කුම්භාණ්ඩයෝ, කට්ටඬි එක්ක සාත්තර සාත්තරේ ……



කටුස්ස ඇතුළු කීපදෙනෙක් හොම්බටම දමල ඇරිය අංජබජල් ඔල්මොරොන්දන් මොළේ කොලොප්පන් කිසි ගැලපිල්ලක් නැති එකක් ලිව්වා කියල.බලාගෙන ගියාම කතාව ඇත්ත. ඒක මොකෙක් වත් බලන්නෙ නෑ. ඒ නිසා ඔන්න ඒ අදහස් වලට  හිස නමල මගේ පුරුදු ඉස්ටයිල් එකෙන් ටෝකක් දෙන්න කල්පනා කොලා සමාජ ගිනි විජ්ජුම්බරේ ගැන. අද කියන්න යන්නේ ඇහැට නොපෙනෙන බලවේග, යක්ෂ පෙරේත භූත ආත්ම කෝඩිනේට් කොරන , අත්භූත ලෝකේ නියෝජනය කොරන අපේ සමාජයේ අම්බැසඩර්ලා ගැන.



ඒ කියන්නෙ කපුවො, සාත්තර කාරයෝ, කට්ටඬි බුවාලා ගැන. මේකට වස්තු බීජේ හිතට වැටෙන්න හේතුව තමයි මේක කොටන වෙලාවෙත් අපේ ගෙදෙට්ට ගෙවල් තුනකට එහායින් කොහෙන්දෝ පාත් වෙච්ච කපුවෙක් දේවාලයක් අටවාගෙන හවසට ගෙජ්ජි වැලක් හොල්ල හොල්ල හක්ගෙඩියකුත් පිඹ පිඹ බෙරේකට තඩිබාන සද්දෙ ඇහෙන එක. ඉඳල හිටල මහා හයියෙන් කුණුහරුපෙන් බනිනවත් ඇහෙනවා ආතුරයන්ට. ඒ වැහිලා ඉන්න පෙරේතයෝ බයකොරලා පන්නන්නලු. පෙරේතයෝ භූතයෝ කුණුහරුප වලට බයයි කියනවනේ.හවසට හුළං අත අපේ ගෙවල් පැත්තට හැරෙනකොට එන කට්ටකුමන්ජල් දුම, හොර මීයට මැස්සො ඇදෙන්නා වගේ ලාකළුවරේ කපුවාගේ ගුබ්බෑයමට ඇදෙන මිනිස්සු (වැඩිහරියක් ගෑණු) , මෙලෝ රහක් තාලයක් නැතිව යක් බෙරේකට තිඩිබානකොට ඇහෙන මළ මුස්පේන්තු සද්දෙ, ඔය කියන ඔක්කොන්ගෙන්ම හිතට එන යක්ශාරූෙඪ නිසා තමයි මේ ටික ලියවෙන්නෙ.

වල් අස්සයෝ සහ රේස් අස්සයෝ



නිකං දෙන අස්සයගෙ දත් ගනින්නෙපා කිව්වලු!!! අශ්වයන්ගේ වයස සහ සෞඛ්‍ය තත්වය ගැන නිගමනයකට එන්න උගේ දත් පරීක්ෂා කිරීමෙන් පුළුවන් ලු. මට හොඳින් මතකයි ඇමරිකන් හමුදා Tikrit නගරයේ manhole  එකක් ඇතුලේ ඉඳල සදාම් හුසේන්ව අල්ලගත්ත ගමන් කට අරින්න කියල දත් බලනවා. මයෙ  හිතේ වයසයි සෞඛ්‍ය තත්වෙයි තේරුම් ගන්න වෙන්ටැ.


 සදාම් හුසේන් සහ අස්සයෝ ගැන කියද්දී මහින්ද මහත්තයගෙ බාල කොලුවා "චිචී" ගෙ කාර් රේස් පැදිල්ලයි, තිබුනයි කියන  කාර් එකතුව ගැනයි මතක් උනා. මොන සැක්කරය කිව්වත් උන්ට ලොකු ලොකු කාර් තිබ්බෙ නෑ කියල මං නං ඒක නං පිළිගන්නෙ නෑ.යකෝ මගේ තාත්ත ජනාධිපති උනා නං මාත් අඬලහරි හොඳ එකක් ඉල්ලගන්නවා.

බොරු පඩ ෂෝ



ෆීලින් ඕසම් විත් අහවලා කියල ප්‍රමුඛ පෙලේ අවන්හලක අලකූරු පෙට්ටියකුයි, පියනෙන් වහල බටයක් දාපු ප්ලාස්ටික් බීම කොප්පෙකුයි, විසිතුරු මැල්ලුම් කොළ වලින් සරසපු බනිස් ගෙඩියකුයි අහුවෙන්න පොටෝ එකක් ගහල ෆේස් බුක්  දාන අපේ සහෝදර සහෝදරියෝ අපිට කියාදෙන පාඩම මොකක්ද?? හැමදාම ඕවයින් කනවා කියන එකද??පොඩ්ඩක් හිතල බලන්න...ඕක ඇතුලේ ලොකු කතන්දරයක් තියනවා..මමද ඇතුළුව ( එහෙම ෆොටෝ නොදැම්මට) ඉන්ටනෙට් ෆේස් බුක් පාවිච්චි කරන , පොටෝ ගන්න පුළුවන් ෆෝන් එකක් තියන (මට එහෙම එකක් නෑ) , ඉන්දලහිටල එහෙම තැනකින් කන්න සල්ලි තියන සැබෑ මධ්‍යම පාන්තිකයන්ගේ එක් පැතිකඩක් ගැන විස්තරයක් කියන්න මම මේ තටමන්නේ. 


ඇත්තටම හැමදාම ලොකු තැන් වලින් කන්න සල්ලි තියන ඉහල සමාජයේ ඉන්න බොහෝ දෙනා ඔය වගේ දේවල් මුහුණු පොතට දාලා තියනවා මම නම් දකින්නෙ කලාතුරකින්. මොකද ඒ වගේ උන්ට ඔයවගේ දේවල් මැජික් නෙවෙයි. 

හාඩ්වෙයා සහ ගල් වැලි මගඩි



තමන්ට ගැලපෙන ලස්සන ගෙයක් හදාගන්නවා කියන දේ හැම මධ්‍යම පාන්තිකයෙක්ගෙම ලොකු හීනයක්. කොයිතරම් ජීවත් වෙන්න සුදුසු තරමේ නිවසක් තමන්ට දෙමාපියන්ගෙන් උරුම වෙලා තිබුනත් අලුත් පරම්පරාවට ඒක හරියන්නේ නෑ. එහෙම ගෙයක් තියන බොහෝ අයගෙත් ඔලුවේ තියෙන්නෙ  "මේවා පරණ ගෙවල්, කාවවත් යාලුවෙක් නෑදෑයෙක් ගෙදරට ගෙන්නන්න පුළුවන්ද ලැජ්ජාවේ" කියන විදියේ හැඟීමක්. බොහෝ වෙලාවට නවීන පන්නයේ නිවසක් එකවර තනාගන්න තරම් මුදල් බොහෝ දෙනෙක්ට නෑ. ඒ නිසාවට එක්කෝ බැංකු ණයක් අයදුම් කරලා, එහෙමත් නැත්තන් තියන ඉඩම් කෑල්ලක් විකුණලා හරි ඒ හීනය සැබෑකරගන්න ගොඩක් දෙනා දෙපාරක් හිතන්නේ නෑ. ගේ කෑල්ල අටවගන්න සමහර උදවිය රට ගිහිං මුදල් හම්බකරන වෙලාවලුත් ඕන තරම්. එත් ගොඩක් වෙලාවට වෙන්නෙ ජීවිත කාලයෙන් භාගයකටත් වැඩිය ගේ හදාගන්න කාලය ගතවෙන එක. ඒක හදල ඉවරවෙනකොට තමන්ගේ ළමයි ලොකුමහත් වෙලා කසාද බඳින වයසට ඇවිත්. අන්න එතකොට අම්මල තාත්තල හදපු ගේ උන්ට හරියන්නෙ නෑ. උන් ආයෙත් එකක් හදන්න පටන්ගන්නවා. කොරල් බුහුබාවාගේ ජීවිතය වගේ.


නිවසක් ඉදිකිරීමේදි අවශ්‍ය සාධක අතරින් ප්‍රධානම සාධක දෙකක් තමයි අමුද්‍රව්‍ය සහ ශ්‍රමය.ඒ කියන්නෙ ගල් ,වැලි , ගඩොල්, බ්ලොක් ගල්, සිමෙන්ති සහ අනෙකිත් දේ සමග මේසන් බාස් වරු.  වහලට ලී , ටයිල්, උළු, ඇස්බැස්ටස් තහඩු, වයරින් බඩු, සිවිලිං අමුද්‍රව්‍ය වගේ දේවල් ගැන ඇතුලෙන් සිද්දවෙන හොර වැඩ ගැන මට ඒතරම් ලොකු දැනුමක් නෑ. ආ උළු ගැන කියද්දී නං කතාවක් මතක් වෙනවා. උළු ගන්න කොච්චිකඩේ ගිය ලොරි කාරයෙක්ට උළු මෝලේ අයිති මහත්තය නැති වෙලාවක ඒ මහත්තයගෙ නෝනා කිව්වලු " අපේ මහත්තයගෙ උලට ගහන්න උලක් මේ පළාතේම නෑ" කියල. එව්වා වැඩක් නෑ. දන්න ගල් වැලි ගැන කියන්නම්කො.

"ආරෝග්‍ය ශාලා පරමා ලාභා"



උණක්, කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනම වෙනිවැල්ගැට,කොත්තමල්ලි, පැනඩෝල්, ලක් පේයාව , සමහන් බීල වැඩේ ගොඩින් බේරගන්න තමයි අපි හැමෝම උත්සාහකරන්නෙ. අපි හැමෝම වගේ බේත් බොන්න කම්මැලියි.


 සමහරුන්ට නම් බේත් බොනවා කියන්නේ වහ බොනවා වගේ වැඩක්.සමහරුන්ට නම් බත් අහුරක් ගිලිනවා වගේ බෙහෙත් පෙති, කරල් අහුරම එකපාර කටේ දාගෙන වතුර ටිකකින් බඩටම තල්ලු කරලා දාන්න පුළුවන් උනාට බොහෝ දෙනෙක්ට එහෙම බෑ. ඒ උදවිය බෙහෙත් බොන්නේ වතුර උගුරක් කටට පුරවාගෙන ඒකට බෙහෙත් පෙත්ත දාල ගිලින ගමන් , ටක් ගාල තවත් වතුර උගුරක් ඒ පිටම බොන අමුතුම ක්‍රමේකට .එක පාරට එක පෙත්තයි හෝ කරලයි. හරියට නිකං පුරාණ  සිංහල රජවරු රාජ භෝජන වළඳනවා වගේ.

ගණ ගෙඩි, වෙන්ඩ හාමුලා සමඟ අසරණ අලි පැටව්….



දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසනා  -  පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා

සිල් රෙද්දේ ලේ ගෑවුනේ කොහොම සොයනා  -  අවි ගත්තු පින්වත්තු දාගැබට විදලා 


ඉරාජ් වීරරත්න නම්(මට දිරවන්නෙම නැති )  ගායකයා විසින් සංගීත අධ්‍යක්ෂණය කල , වසන්ත දුක්ගන්නාරාළ පද රචනාකළ මේ ගීය, ජාතික සමගිය පිළිබඳව වදින්නට අවශ්‍ය තැන් වලට පහර ගසමින් ගායනයවූ මං ආසම ගීතයක්. ජාතික සමගිය, ජාතිවාදය පිටුදැකීම  පිළිබඳව මෙම ගීය තේමා කොට ගත්තත් , මෙහි කියැවෙන කොට අදින අලි ඇත්තු , පෙරහැරේ අලි ඇත්තු , සිල් රෙද්ද සහ පින්වත්තු මාතෘකාකොටගෙන යම් කාරණාවක් පිලිබඳ සංවාදයකට එළඹෙන්නයි මේ උත්සහ කරන්නේ.


වර්තමාන දේශපාලන බල පෙරළියත් එක්කම "අලි පොත" , " අලි පැටවුන්" , "අලි  ලියාපදිංචිය", "හීළෑ අලි" පිළිබඳව සමාජයේ හැමතැනකම කතාබහට ලක්වෙනවා. අලිපැටවුන් සඟවාගෙන සිටීම, නීති විරෝධී ප්‍රවාහනය , අයිතිය පිළිබඳව ව්‍යාජ ලිපි ලේඛන සැකසීම ආදීකොටගත් බොහෝ කාරණා ලොකු පන්සල් සහ ලොකු සල්ලිකාරයන් සම්බන්ධයෙන් සෑම තැනකින්ම පාහේ අහන්නට ලැබෙනවා.